My Burger

අපේ දේශානි ඉන්නවනේ. ලෝක මැන්ටලයක්නෙ. වැඩේම මට වද දෙන එක. උදේ ආපු වෙලාවෙ ඉඳන් අහන්නෙ “අද කොහෙද කන්න යන්නෙ, අද කොහෙද කන්න යන්නෙ?”
වදෙන් බේරෙන්න බැරිම තැන තමයි මම කල්පනා කළේ මැන්ටලේව කොහේ හරි කන්න එක්කන් යන්න. ලොකු ලොකු තැන් වලට ගිහිනුත් බෑ, මොකද මෙයා කන කෑමට, මට බිල ගෙවන්න අතේ පයේ තියෙන දේවල් වුණත් උගස් කරන්න වෙන්න පුළුවන්.
ඉතින් කාටත් හොරා ප්ලෑන ගහපු මම කාලෙක ඉඳන් ඔළුවෙ තිබ්බ බර්ගර් කඩයක් ගැන හෙන ලොකු කරල විස්තර විචාර පාරක් දැම්මා. දාලා දේශානිව, එතනට යන්න නම්ම ගත්තා. නම්මගෙන තමයි ඌබර් අයියා කෙනෙක්ට එන්න කියල ගමන පටන් ගත්තෙ. වැඩේ කියන්නෙ, මගේ පෙර පිනකට වගේ, ඒ වෙලාව වෙද්දි දවල්ට කාලා පැය 2ක් ගිහින් නෑ. වල් වාසියක්වත් වදියිනෙ කියල හිත හිත තමයි නුගේගොඩ පාලම පහු කරගෙන Glitz එක පැත්තට ගියේ. එතනම තියෙන කහ ඉර ළඟින් බැහැ ගත්තු දේශානියි මායි පාර පැනල සෙනිකව එහා පැත්තෙ තිබුණ My Burger එකට ගොඩ වුණා.
කියන්න සන්තෝසයි කඩේ අලුතෙන් හදල. දවසක් මං එද්දි ඉඳපු මෙලෝ රහක් නැති සේවකයො ටිකත් දැන් නෑ. ඇහැට කනට පේන ගෑනු ළමයෙක් එක්ක ගිය නිසාදෝ මටත් මාර සැලකිලි. ගිහින් වාඩි වෙන්න හම්බවුණේ නෑ, සේවක මිත්‍රයෙක් ඇවිල්ලා, ලස්සන හිනාවක් එහෙමත් දාලා “මොනවද ඕන” ලතාවට ඇහුවා. ඊට පස්සෙ තමයි අපි, කැෂියර් එකට උඩ බිත්තියෙ ගහල තියෙන මෙනුව පීරන්න පටන් ගත්තෙ.
එක විනාඩියක් යන්න හම්බවුණේ නෑ
“ඒ, මට චීස් චිකන් කොත්තුවක් (රු. 420) ඕන. බොන්න අයිස් මයිලෝ (රු. 130)”
කිරි අප්පට බල්ලො බුරපි, මල් හිනාවක් දාගෙන මෙයා ඕඩරේ දාපු හැටි. හිතින් බැණබැණ, සේවක මිත්‍රයට දේශානිගෙ ඕඩරේ කියපු මම ටික වෙලාවක් කල්පනා කරල ඩබල් ක්‍රිස්පි චිකන් බර්ගර් එකක් (රු. 400) ඕඩර් කලා. බොන්න, අයිස් කෝපි ඇහුවත් ඒව නැති නිසා අන්තිමට මටත් ගන්න වුණේ අයිස් මයිලෝ එකක්.
කොහොම හරි, මැන්ටලේගෙ ගොන් කතා නිසා වෙලාව යනව ඒ හැටි තේරුණේ නෑ. මයෙ හිතේ උපරිම විනාඩි 10ක් යන්න ඇති, මෙන්න බොලේ දුම් දදා, සුවඳ විහිදුවාගෙන චීස් චිකන් කොත්තුව මේසෙ උඩ. කිරි පාටට කැපෙන්න, තක්කාලි පෙති, ලූණු කොළ, මාළු මිරිස් වැහි වැහැලා. රස පෙනුමට, පිස්සු වැටෙන ගානයි. ඊටත් හරි කොත්තුව උඩ දිලිසි දිලිසි තියෙන, තඩි බාබකියු චිකන් පළුව දැක්කාම.
ඇසි පිය හෙළන නියාවෙන්, හැඳි ගෑරුප්පු අතට ගත්ත දේශානි කොත්තුවට වග කියන්න පටන් ගත්තා. මමත් නිකං හිටියෙ නෑ. එහෙන් මෙහෙන් අත දාලා කොත්තු කෑල්ලක්, චිකන් කෑල්ලක් අරන් රහ බැලුවා. ෂහ්, පංකාදු පහයි ඈ. චීස් කොත්තු නම්, අන්න චීස් කොත්තු. චීස් රසෙන් වගේම
නියම ගාණට එන සැර ගතියකිනුත් අනූනයි. එතකොට බාබකියු චිකන් කෑල්ල, ටොපේ ටොප්. මැදත් හොඳ පදමට තැම්බිලා. සෝස් රසත් කොත්තුවටම කියාපු ගානට. ඔක්කොමත් හරි, චිකන් කෑල්ලෙ ලොකු! කොත්තුව කාලා ඉවර වෙලෙ කන්නත් පුළුවන් තරම්.
මගේ බර්ගර් එකත් කොත්තුවට දෙවනි නෑ. අවුල තියෙන්නෙ ඒකෙ සයිස් එක නිසා කන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරි එක තමයි. එකසිය ගානට කල්පනා කරලත් හරි හමන් ක්‍රමයක් ඔළුවට ආවෙ නැති නිසයි මම කල්පනා කළේ බර්ගර් එක තලල කන්න.
අල්ල තියල බරක් දුන්නත් තට්ටු 2කට මැද්දෙ පුරවල තිබුණ ක්‍රිස්පි චිකන් පලු දෙක එ් හැටි තැලෙන පාටක් නෑ. එ් මදිවට සලාද කොළ, තක්කාලි පෙති, චීස් පෙති එහෙමත් පුරවලානෙ. හිත හදා ගත්තු මම කට අරින්න පුළුවන් උපරිම ඇරලා බර්ගර් කෑල්ලක් කඩා ගත්තා. හම්මේ… රස නහර පිනා ගියා කියන්නේ… ක්‍රිස්පි චිකන් වල කරස් සද්දෙයි, චීස් චිකන් රසයි නිසා දිව පිස්සු වැටිලා. ඒකට සෝස් ටිකකුත් ගෑවුණාම ගමකට කතහැකි. එවෙලෙ තමයි හිතුණෙ අපරාදෙ දවල්ට කෑවෙ කියල.
එක පෙළට බර්ගර් කටවල් දෙක තුනක් දෙසා බාපු මම ඒ ගැම්මටම අයිස් මයිලෝ එකත් රස බැලුවා.  කියල වැඩක් නෑ ඒකත් පංකාදු පහයි. මයිලෝයි, කිරියි නම් මදි නොකියන්න දාලා තියෙනව. සීනිත් නියම ගානට. හොඳට කූල් එකත් තියෙන නිසා බර්ගර් එකටම කියාපු.
බෙල්ල නමා ගෙන එක දිගටම කොත්තුවට වග කියන දේශානිත්, ඔළුව උස්සන ගතියක් පෙන්නුම් කළේ නැති නිසා, මමත් එක ගැම්මට බර්ගර් එකට ඇරලා දැම්මා. හත් උලව්වයි කියන්නෙ, ඊට පස්සෙනෙ තේරුණේ ඉස්මුරුත්තාව කියල. අයිස් මයිලෝ උගුරු දෙක තුනක් බිව්ව, එතනින් එහාට නකවුට්. මැන්ටලේටත් ඒ සෙතේමයි. වැල කාපු රිලව වගේ, පුටුවෙ හරස් අතට දිගා වෙලා.
පැය බාගයක් විතර ඉඳල තමයි අමාරුවෙන් නැගිට ගත්තෙ. කඩේ කස්ටියටත් අම්බානක හිනා. මොනව කරන්නද ඉතින්, කෑදර කමට කෑව නම් චාටර් වෙන්නත් එපැයි, අපිත් හිනාවක් දාගෙනම හිමීට එළියට බැහැලා ඌබර් එකකට ගැළපුණා.
මේ ඒක නෙවෙයි යාළු, අර බාබකියු චිකන් චීස් කොත්තුව නම්,..

ADDRESS
No. 244, High Level Road, Nugegoda
DIRECTIONS
In front of the Glitz, Nugegoda
CONTACTS
Report Issue

Comments